පෘතුවි තලයට පැමිණ පෘතුවි වර්ෂ විසිහයක්!පිලිවෙලක් නැති ගමනක අත්දැකීම් හෑල්ලක්!නොනිවී නැගෙන සිතුවිලි ගින්නක වචන එකතුවක්!සියල්ල එක් අරමුණක් !
- කරුවලගස්වැව (2018) - |
මේ හෑල්ල කියවලා මට මෙතෙක් පිස්සුයි නොකිව්ව උන් "අඩෝ උඹට පිස්සුද?" කියලා අහන්නත් පුලුවන්, සමහරවිට මෙතෙක් පිස්සුයි කිව්ව උනුත් "අඩෝ! උඹට හොද වුනාද?" කියන්නත් පුලුවන්! අවසානය ප්‍රතිපලය කෙසේ වෙතත් මමත් ඉතින් මේ පිස්සුව හෑලි ගත කරන්න එපැයි යුතුකමක් විදියට. ඒ හැරත් ඉතින් උඹලා වුනත් පිස්සුවකින් හරි හිත හදාගන්න මේක කියවන්න එපාය.
පොඩි කාලේ ඉදලා මට කොහොමත් උත්තර නැති ප්‍රශ්න ගොඩක් තිබ්බ ඩයල් එකක්. සමහර ප්‍රශ්න අහපුවාම, මිනිස්සු මං දිහා අමුතු විදියට බලල මඟහැරලත් ගියා. සමහරු "උඹට පිස්සුද?" කියලත් ඇහුවා. උන්ට මම කලේ මගේ පිස්සුව තව පැහැදිලි කරවපු එක. සමහරෙක් "මේ මොන වදයක් ද යකෝ " කියල, යන්නම ගියා. සමහරෙක් අනුකම්පා කරලා රැදුනා. අහගෙන හිටියා. සමහරුන්ට මගේ පිස්සුව බෝ වුනා. ඔය අතරේ අතේ ඇඟිලි ගානට පිරිසක්, මං ගාව තියෙන ප්‍රශ්නෙට වඩා හොඳ වටින ප්‍රශ්න දීලා, උන් උන්ගේ පිස්සුව හොයන් ගියා.
ඒත් ඉතින් අන්තිමට ප්‍රශ්නේ මට නේ. උත්තරයක් නැතුව ජීවත් වෙන්නත් බැහැනේ ඉතින්. ඉතින් ආශ්‍රය කරන පිරිසෙන් උත්තර නැති වුනාම පිරිස මාරු කරල උත්තර හෙව්වා. ඒත් උත්තර නැති වුනාම කඳු, කැලෑවල්, දියඇලි, රේල් පාරවල් දිගේ, ආ ගිය මුලගිය තැන් ඉතිහාස, ශිෂ්ටාචාර වලින් ආගම්, දර්ශන හොයාගෙන ලංකාව පුරාම ඇවිද්දා. කොච්චර ඇවිද්ද කියනවා නම් අපේ තාත්තා මාව දකින දකින තැනදි කිව්වේ "පිස්සට හැතැක්ම නැහැනේ ඉතින්!" කියලා. ඒ හැමතැනම උත්තර නැති වුනාම, සම්මත සමාජ ක්‍රමයෙන්ම බැහැරත් වෙලත් උත්තර හොයන් ගියා.
- නාරංගල, බදුල්ල (2016) - |
මගදි ප්‍රශ්නේ මොකක්ද කියලත් අමතක වුනා. දැන් මොකද කරන්නේ? මොකක් හරි එකක් හොයන්නත් එපාය! ඊට පස්සේ උත්තර ටික අතේ තියාගෙන ප්‍රශ්න හොයන් ගියා. හෙම්බත්ම වෙනකම් මොකක්දෝ දෙයක් හෙව්වා. ඒත් මොකක්ද කියලවත් නොදැන.කෙලවරකින් තොරව, අරමුණකින් තොරව.
පස්සේ මම හෙවිල්ල නැවැත්තුවා. නෑ, නෑ බන්! මට කොහෙද එච්චර හයියක්? පෘතුවි ජිවිතේ මාව නැවැත්තුවා. බලෙන්ම!මේ සමාජේ ඉස්සරහ මාව විහිලුවක් කරලා පාගලම දැම්මා! පාගන්න පාගන්න මම නැගිටලා දුවන්න ගත්තට, ආයේ ආයේම වැට්ටෙව්වා. "මුලින් මුලින් හොදින් කියලා දුන්නා නේද!" කියලා මට පස්සේ තේරුනාට, ඒ කාලේ කොහෙද ඔවා බලන් ඉදලා තේරුම් ගන්න තරම් සිහියක්! දුවනවා දුවනවා ගාල කඩාගත්තු හරකා වගේ, දුවන්නේ ඇයි කියලා දන්නේත් නැ, දුවන පැත්තකුත් නැ, හතර වටේම දුවනවා හති වැටෙනකනුත්, තව ටිකකුත්. ඉතින් පොඩ්ඩකට නැවතුන වෙලාවට ඔන්න පේන්න ගන්නවා.
- බත්තලන්ගුණ්ඩුව (2017) - |
"අම්මටසිරි! මොකක්දෝ එකක් ඇතුලේ ගිනි ගන්නවා නේද?"
ඉතින් ඔන්න ඒ පාර ගින්න එන තැනයි, ගින්න මොකක්ද කියලයි දැන් හොයාගන්නකම් විසුමක් නැ ඉතින්. පැරදිලා, වැටිලා, කෙල වෙලා හිටියට මොකෝ ඉතින්, ආයේ දුවන්නමයි හිත නම්!
" අනෙක ඉතින් නැවතිලා ඉන්නත් බැහැනේ මට තියෙන දේවල්, මම දන්න දේවල් වලින්, මම මගේ ලොකු කම පෙන්නන්නත් එපාය! ඇයි ඉතින් ඒ විතරද? මට ලස්සන, ලොකු, වටින දේවල් නම් තව කීයක්, අනෙක් මිනිස්සුන්ට හෙණ ගැහුවත් මගේ කරගන්න තියේ ද?
බලන්න, ඇවිදින්න, විදින්න නම් තව තැන් කීයක් කියලද? කියවන්න, අහන්න, දැනගන්න නම් තව කොච්චර දේවල්ද? ඕවා කොහොම කරන්නද ඉතින් දුවන්නේ නැතුව. "
නිතරම මගේ හිත මට කිව්වේ ඔහොම්මමයි! මම ඉතින් කොහොමත් එදා ඉදලා මගේ හිත කියන දේ විතරමනේ ඇහුවේ. ඕවා කවුද හිතට කියලා දුන්නේ කියලත් හිත අහපු වෙලාවල් තිබ්බා.
ඒත් ඔය කතා සියල්ල අස්සේ, මගේයි කියලා හිතාගෙන හිටපු ප්‍රශ්න ටික "මට ප්‍රශ්නත් එපා, හිතත් එපා, ඔක්කොම උඹලම තියාගනින්" කියලා දමලා ගහපු තැන අකුරු වලට ගන්න බැරි මොකක්දෝ රසයක්, සැපයක්, සනීපයක් දැනුනා හීනියට! හිතල හිතල, දඟලල දඟලල, අකුරු වලට ගත්තම ආවේ...
නිදහස!
- රිටිගල (2018) - |