Wednesday, October 25, 2023

Metamorphosis - රූපාන්තරණය

Metamorphosis එහෙමත් නැත්නම් සිංහලට හැරෙව්වම රූපාන්තරණය කියන්නේ මට අනූව හරිම ලස්සන සංකල්පයක්. Google Bard අර්ථ දැක්වීම විදියට එන්නේ, 

රූපාන්තරණය යනු පෙර පැවති දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් බවට පත්වීමේ ක්‍රියාවලියකි. එය බොහෝ විට ස්වරූපයේ, චරිතයේ හෝ ස්වභාවයේ ගැඹුරු, රැඩිකල්, නාට්‍යමය, පරිවර්තනයක් වේ. 

වචනයේ ඉතිහාසය අතීත ග්‍රීසිය කාලයටම යනවා. ග්‍රීක් වලින් 

"Meta" කියන්නේ වෙනස

"Morphe" කියන්නේ ස්වරූපය

මේ වචනය සංකල්පයක් විදියට මුලින්ම ගෙන්නේ 16 වෙනි ශතවර්ශයේදී, ඉතාලි ජාතික naturalist කෙනෙක් වුන Ulisse Aldrovandi. රූපාන්තරණය කියන්නේ තේරෙන හරුපයක් නෙමෙයි නේ! 

තේරෙන විදියට කිව්වොත්,

 

මිනිහා මේ යෙදුම පාවිච්චි කලේ අර අපි පොඩි කාලේ කතුරුමුරුංගා ගහකින් දලඹුවෙක් හොයාගෙන, බෝතලේක දාල, පත්තර කොලේකින් ඔතලා, රබර් පටියක් දාල, හිල් විදලා, සතියක් 2ක් බලාගෙන ඉන්නේ සමනලයෙක් එනකම්? අන්න ඒ process එක විස්තර කරන්න.

කාලයක් තිස්සේ මේ concept එක මගේ ඔලුවේ වැඩ කලා. අන්තිමට ගිය සතියේ library එකේදී Franz Kafka ගේ The Metamorphosis පොත දැක්කම ආයේ ලොකුවටම පත්තු වුනා.


කතාව කියවලා මනෝපාරකට වැටුනම, මේ සංකල්පය මට හැමතැනම පේන්න ගත්තා. එතකොට තමයි මේකේ ලස්සන පෙනුනේ.

කාලෙකින් සිංහල හෝ fiction පොත් නොකියවපු නිසා, මට මේ දැනෙන කිසි දෙයක් ලස්සන වචන වලට දාන්න අමාරුයි. අපොහොසත්! වෙලාවත් අඩුයි. කොහොමත් වචන කියන්නේ හරි නොවටිනා දෙයක් දැනෙන දෙයක් විස්තර කරද්දි. ඒත් මේක බෙදාගන්නත් ඕනේ දෙයක්. ඒ නිසා, මේ article එකට මගේ පෞද්ගලික philosophy වලට වඩා, ස්වභාවදහමේ සංසිද්ධි, සාමාජීය, සාහිත්‍යමය සංකල්ප ටිකක් මේසේ උඩ තියන්නම්. උඹ නිදහස් චින්තකයෙක් වෙයන්! උඹ මේක කියවද්දි හිතුන දේ, නිදහසේ කල්පනා කරද්දි හිතුන උඹේ අදහස් මටත් පල්ලෙහා comment වල කියල පලයන්.  කියන්නම ඕනේ කියල එකකුත් නැහැ. ඒ වුනාට, මම ආසයි මිනිස්සුන්ගේ නිදහස් අදහස් වලට. මේ සංකල්පය හරි ලස්සනයි. මේ සංකල්පය උඹට මට අපිට වටින දෙයක් වෙයි!

Biological Metamorphosis


සංකල්ප #1

Biology වලදී මේ concept එක හැමෝම දැනටමත් දන්නවා වගේ, අපිට සමනළයගේ, ගෙම්බගේ, මදුරුවගේ වගේම තව ගොඩක් සත්තුන්ගෙත් ජීවන චක්‍ර වලදී බලාගන්න පුලුවන්. 




සංකල්ප #2

මීට අමතරව ඇහුනු අනෙක් ඇඟට දැනෙන කතාව තමයි, රාජාලියගේ ජිවිතය. රාජාලියා කියන්නේ කුරුල්ලොන්ගෙන් වැඩිම ආයුශ තියෙන සතා. අවුරුදු 70ක් විතර ජීවත් වෙන්න පුලුවන්ලු. හැබැයි අවුරුදු 40ක් විතර වෙද්දී මූ අමාරු තීරණයක් ගන්න ඕනේ.

මොකද අවුරුදු 40 වෙද්දී මුගේ හොට, කකුල් නිය ඇඹරෙනවා, පියාපත් බර වැඩි වෙනවා. සත්තු දඩයම් කරන්නවත්, කන්නවත් බැරුව යනවා. එතකොට රාජාලියෙකුට option 2ක් තියෙනවා.
 
1. ක්‍රමයෙන් මැරිලා යන්න
2. දවස් 150ක අමාරු වෙනස්වීම් කරලා තව අවුරුදු 30ක් ජීවත් වෙන්න.
අමාරුවෙන් හොයාගත්තේ

වෙනස් වෙන්න තීරණය ගත්තොත්, රාජාලියට සිද්ධ වෙනවා ඊලගට කඳු මුදුකට ගිහින් තමන්ගෙ හොටත්, නියපොතු, කකුල්, ගලකට ගහල ගහල කඩා ගන්න. පිහාටු ඔක්කොම තමන් විසින්ම උදුරලා දාන්න. ආයේ ඒ දේවල් හැදෙනකම් ඉවසීමෙන් බලන් ඉන්න. ඔය ක්‍රියාවලිය ඔක්කොම මාස 5ක් විතර යනවලු. ඒත් අවසානෙදි රාජාලියා අලුතෙන් ඉපදිලා, ශක්තිමත්ව පියාසර කරනවා ආයෙත්.

සංකල්ප #3

ආයේ සීසන් 4ක් තියෙන රටවල් වල ගස් වෙනස් වෙන විදිය? ගස් එහෙම වෙනස් වෙන එක බයෝ වලදි වෙනම සංකල්පයක්. "Phenology" කියලා තමයි ඒ අධ්‍යානය යන්නේ.  

අපි වගේ සමකය ආසන්න රටකට අත්දකින්න පුලුවන් සීසන් 2යි. ඉතින් අපේ පුංචි දූපතෙන් එලියට එනකම් මේ සංසිද්ධිය මම දැක්කේ ෆිල්ම් වල විතරයි. ඒත් ඇත්තටම බලන් ඉන්ද්දි ඒක වෙනනම දෙයක්. මට මුලින්ම Winter එකක් අත්දකින්න හම්බෙන්නේ 2022 නොවැම්බර්, ජපානයේදී. එහේ එක සීසන් එකක් විතරක් හිටපු හින්ද, මේ සංසිද්ධිය ලොකුවටම නිරීක්ශනය කරන්න වුනේ නැහැ. ඒත් යද්දි, Autumn වල අන්තිම ටික. කොල හැලිලා ඉවර වෙන්න කිට්ටුව. ඒ නිසා එක සීසන් එකකින් තව එකකට මාරු වෙන හැටි දකින්න හම්බුනා.

Japan Autumn, 2022
Japan Winter, 2022


2023 ජනවාරි, New Zealand ආවට පස්සේ මේ වෙද්දි සීසන් 4 එක දිගට දකින්න හම්බුනා. නැවතිලා ඉන්න ගෙදර ජනේලෙන් එලියේ තියෙන ගහක් දිහා දවස ගානේ සීසන් 4ක් බලන් හිටියාම ඒක වෙනම අධ්‍යනයක්.

New Zealand Spring, 2023


Autumn කාලෙට කොල හැලෙනවා, මිනිස්සු අඳින විදිය වෙනස් වෙනවා. මුලු පරිසරයම මොකක්දෝ එහෙකට හදිසියේ ලැහැස්ති වෙනවා වගේ. Winter වෙද්දි ඔක්කොම මැරිලා, හරිම සීතලයි, දවස් කොටයි, අඳුරුයි. මිනිස්සු වුනත් මලානිකයි. Black and White. හරියට නිකම් පාලු කනත්තක් රෑට වගේ. 

Winter එක ඉවර වෙලා Spring එද්දි, ගස් දලු දාගෙන එනකොට ආයේ අර "party එක පටන් ගන්නවා" කියලා invitation එවනවා වගේ. කලු-සුදු තිබුනු පරිසරය ආයේ colorful වෙන්න ගන්නවා. අපිට ස්වභාවිකව හිතෙන විදිය වුනත් වෙනස් වෙන්න ගන්නවා. Summer කියන්නේ party එක. ගස් උපරිමේට හැදිලා, කොල දාල, පලතුරු ඇවිත්. මිනිස්සු අඳින විදිය එහෙම් පිටින්ම වෙනස්, කඩවල් වල display වෙනස්. මිනිස්සු එලියෙමයි. නිශ්ශබ්ද, නිස්කලංක කියන්නේ පරණ මතකයක් විතරයි. තොරතොංචියක් නැති කතාව, මිනිස්සුද, කුරුල්ලොද, සත්තුද, ගස් ද ඔක්කොමලා.

ආයේ කොල හැලෙනවා, party එක ඉවර වෙන්නයි යන්නේ කියල පරිසරය කියද්දි, ඔක්කොමල ටික ටික නිශ්ශබ්ද වෙනවා, අඳින විදිය වෙනස් වෙනවා, හැසිරෙන විදිය වෙනස් වෙනවා. ඔය සෙල්ලම බලන් ඉන්න එක නිකම් conductor කෙනෙක් මෙහෙයවන orchestra එකක් බලනවා වගේ. ස්වභාවදහමට සියලු ජීවීන් අනුගත වීම.


Social Metamorphosis

සංකල්ප #4

මේ සංකල්පය සාමාජීය මට්ටමකින් ගත්තාම, රටවල්, රාජධානි වලත් සිද්ධ වෙනවා වගේ මට පෙනුනා. මේ පරිවර්තන ආර්ථික, සංස්කෘතික, සාරධර්ම හෝ සාමූහික විඥානයේ (collective consciousness) වෙනස්වීම් විදියට බලාගන්න පුලුවන්. හොඳම ඒවා විදියට මම 4ක් තෝරගත්තා මේ article එකට විතරක්. 

Disclaimer: පැහැදිලි කිරීම හරිම කෙටියෙන් තියනවා බොහෝ හේතුන් නිසා. නමුත් අරමුණ මේ ගැන කුතුහලයක් දැනෙන කෙනෙක්ට වැඩිදුර research කරන්න, හිතලා බලන්න point ටිකක් සපයන එක.

1. ඊජිප්තු රාජධානිය

National Geographic Expeditions

ශිෂ්ටාචාරයක් විදියට ක්‍රි.පු 3100 වගේ ඉඳලා ඉතිහාසයක් තියෙනවා. පිරමීඩ වගේ හිතාගන්නවත් බැරි මට්ටමේ නිර්මාණ කරලා, අවුරුදු 2500ක් විතර පෘතුවියේ බලවත්ම රාජ්‍යයක් විදියට පැවතුනා. හැබැයි ක්‍රි.පු. 332 මහා ඇලැසැන්ඩර් ගේ ආක්‍රමණය, ක්‍රි.පු. 30 දී රෝමය, 7ත් වෙනි ශතවර්ශයේ ආරාබි මුස්ලිම් ආක්‍රමණය එක්ක අද වෙද්දි ඊජිප්තුව තියෙන්නේ කොහෙද?

ඉලක්කමක් විදියට කිව්වොත්, ලෝකයේ දැනට පවතින බලවත්ම රාජ්‍යය, ඇමෙරිකාවේ මිනිස්සු මිලියන 330ක් එකතු වෙලා ලෝක ආර්ථිකයට ට්‍රිලියන 23ක් එකතු කරද්දි, ඊජිප්තුවේ මිනිස්සු මිලියන 109ක් එකතු වෙලා හදන්නේ බිලියන 404ක් විතර (Source: 2021, World Bank)

ආර්ථික වෙනස්වීම එහෙම වෙද්දී, ආගමික සහ සාමාජීය වශයෙනුත් සැහෙන්න වෙනස් වුනා. ඒවා ගැන වෙනම පොත් තියෙනවා හොයාගෙන කියවන කෙනෙක්ට, මේ ඒකට තැන නෙමෙයි.

2. ග්‍රීක රාජධානිය

බටහිර දර්ශනය ගැන කියවද්දි ආරම්භය තමයි ග්‍රීසිය (සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටොටල්). ග්‍රීසිය ලෝකෙට දීපු දේවල් බොහොමයි. දේශපාලනික දර්ශනය, ප්‍රජාතන්ත්‍රවාදය (democracy), අපි අදටත් පාවිච්චි කරන මුලික ගණිත සංකල්ප (පයිතගරස් ප්‍රමේය), භෞතික විද්‍යා සංකල්ප (ආකිමිඩිස් ගේ දායකත්වය), වෛද්‍ය විද්‍යාවේ සාරධර්ම පද්ධතිය (Hippocratic Oath), ලෝකයක් එක තැනකට ගේන Olympic Games.

කොහොම වුනත් 2 ශතවර්ශයේ රෝම ආක්‍රමණයේ ඉඳලා අද වෙද්දි ග්‍රීසිය කියන්නේ බංකොලොත් රටක්. (recovering now)

National Geographic Expeditions

3. සිංගප්පුරුව

1963 වෙනකම් සිංගප්පුරුව කියන්නේ අපි වගේම සුද්දගේ කොලනියක්. 728.6 km² වගේ පොඩි රටක් (කොළඹ දිස්ත්‍රික්කයේ size එක 699 km²). ආරම්භයේදි බෝ වෙන ලෙඩ තිබුනු, මඩ වගුරක්. අපි හැමෝම දන්නවා වගේ ගේ Lee Kuan Yew නායකත්වයේන් මේ රට 1 පරම්පරාවක ආයු කාලය තුල 3 වන ලෝකයේ රටක ඉඳලා පලවෙනි ලෝකයේ රටක් දක්වා දියුණු වුනා. ඉලක්කම් වලින් කිව්වොත්, ඒක පුද්ගල ආදයම (GDP per capita)

1960 - $ 428

2022 - $ 82,808  

Singapore GDP 1960-2023 | MacroTrends

4. දකුණු කොරියාව

කොරියන් යුද්ධයෙන් (1950-1953) පස්සේ දකුණු කොරියාව කියන්නේ කවුරුත් ගණන් ගත්ත රටක් නෙමෙයි. 1960 වෙද්දිත්, කොරියාවේ ඒක පුද්ගල ආදායම $100 ක් අවට. හැබැයි 2022 වෙද්දි එයාලට ට්‍රිලියන 1ක ආර්ථිකයක් තියෙනවා. Samsung, LG, Hyundai කියන Brands එන්නේ දකුණු කොරියාවෙන්. ඒ වගේම BTS කියන Band එකත්. තව කොරියන් TV Series. මේ brands වල fan කෙනෙක් නොවුනත්, උඹල මේවා ගැන විහිලු කරන්න හරි අහල තියෙනවා කියන්නේ උන් සාර්ථකයි. එක Generation එකක් තුල (1960-2020) .

Source: World Bank

ජපානයේ වුනත් එකෙන් පස්සේ නැගී සිටීම තවත් නියම උදාහරණයක්!

Metamorphosis in Literature


සංකල්ප #5

Phoenix කුරුල්ලගේ සංකල්පයත් මේ කතාවෙදි අතහරින්න බැහැ. Phoenix කියන්නේ කවුද කියල මම හිතන්නේ අපි හැමොම ෆිල්ම් බලලම දන්නවා. Harry Potter එකේ එහෙම ඉන්නේ. කලාතුරකින් නොදන්න කෙනෙක් කියවයි කියල හිතල මම ලියන්නම් සරල හැඳින්වීමක්. 

Phoenix කියන්නේ ග්‍රීක සාහිත්‍යයේ එන මනඃකල්පිත කුරුල්ලෙක්. (සමහර විට ඇත්තටම හිටියා වෙන්නත් පුලුවන්. කවුද දන්නේ!) පුරාවෘතයේ සඳහන් පරිදි මේ කුරුල්ලා ගොඩක් කල් ජීවත් වෙන බලවත් සතෙක්. ගින්නෙන් මැරිලා, ඒ අලු වලින්ම ආයේ ඉපදෙනවලු. (Mythology කියන්නෙත් ආතල් subject එකක් study කරනවා නම්) 

මේ සංසිද්ධිය සංඛේතවත් කරන්නේ අමරණීයත්වය, බලාපොරොත්තුව, නැවත නැගිටීම වගේ සංකල්ප. ගින්නකින් පිච්චිලා මැරෙනවා කියන්නේ අවාසනාවන්ත ඉරණමක්. ඒත් ආයේ ඒ අලු වලින්ම ඉපදෙනවා කියන්නේ ශක්තිමත්කම (strength) සහ ඔරොත්තු දීමේ හැකියාව (resilience).

සංකල්ප #6

Friedrich Nietzsche 1885 දී ලියපු "Thus Spoke Zarathustra" කියන පොතේ තියෙනවා Three Metamorphoses: The Camel, the Lion, and the Child කියල තවත් සංකල්පයක්. මම මේ ගැන පොඩි හැඳින්වීමක් මෙතන ලියන්නම්. ඒත් මගේ යොජනාව නම් මේ ගැන තව කියවන්න. Quora එකේ එහෙම හොඳ උත්තර, පැහැදිලි කිරීම් තියෙනවා. (It will be worth your time)

මේ Theory එකේ පියවර 3ක් තියෙනවා. 

1. ඔටුවා - කියන්නේ නිශ්ශබ්දව බර දරාගෙන ඉන්න සත්වයෙක්. ඔටුවා කියන සංකල්පයෙන් කියන්න හදන්නෙත් ඒකමයි. ජිවිතයේ පලවෙනි අදියර, දෙයක් ඉගෙනගන්න, අත්දැකීම් ලබන්න, ගුරුවරයෙක් යටතේ නිහතමානීව කැප කරන්න කියන එක.

“Learn the rules so you can break them properly” - Dalai Lama

2. සිංහයා - කියන සංකල්පයෙන් ඔහු කියන්නේ ශක්තිමත් බව, තමන් වෙනුවෙන් නැඟී සිටීමට ඇති හැකියාව. ඔටුවකු විදියට ජිවිතයේ අත්දැකීම් වලට මුහුණ දුන්නට පස්සේ, තමන් එක්තරා ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් ගොඩ නගාගෙන, සිංහයෙකු ලෙස නැඟී සිටීම.
3. ළමයා - කියන්නේ අහිංසකභාවය, අවංකභාවය (innocence). නිර්මාණ ශක්තිය සහ හැකියාව. අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න නම් අලුතෙන් හිතන්න පුලුවන් වෙන්න ඕනේ. (Beginner's mind)

මේ ගැන මම කියවපු හොඳ පැහැදිලි කිරීමක් මේ article එකේ තියෙනවා:

කියවන්න අකමැති කෙනෙක්ට මෙයාගෙම video explanation එක තියෙනවා මේ link එකේ:

Metamorphosis in Psychology

මනෝ විද්‍යාවෙදි මේ සංකල්පය ගැන කතා කරද්දි mindset, පුරුදු (habits), අනන්‍යතාවය (identity), විශ්වාසයන් (beliefs), ජීවන රටා (lifestyle) කියන සංකල්ප තමයි පොදුවේ keywords විදියට මතු වෙන්නේ. 
Psychology Literature වල හාරල බැලුවම, මනුස්සයෙක්ගේ ජිවිතයට උදව් වෙන theories ගොඩක් තියෙනවා. 
මේ theories සාමන්‍යයෙන් මානසික යහපැවැත්ම, පුද්ගලික සංවර්ධනය (Personal Development), තමන්ව අඳුනාගැනීම (Self-Discovery), අභියෝග ජය ගැනීම කියන දේවල් වටා තමයි තියෙන්නේ.

එහෙම එවාගෙන් 2ක් ගැන මම සඳහනක් තියන්නම්, කැමැති කෙනෙක්ට වැඩි දුර research එකක් කරන්න පුලුවන්. 

සංකල්ප #7

Erikson's Psychosocial Development Theory

Erik Erikson කියන මනුස්සයා අපේ මනුස්ස ජිවිතේ පියවර 8 කට කඩලා තියෙනවා. මේ පියවර 8 දිම අපිට challenge එකක් තියෙනවා.  ඒ challenge එක අර්බුදයක් (crisis) කරගන්නවද, සාර්ථකත්වයක් කරගන්නවද කියන එකට ගොඩාක් හේතු බලපානවා. අපේ උත්සාහය, ප්‍රශ්නය අඳුනාගැනීම, සෙනසුරු පිහිටලා තියෙන්නේ කොහෙද කියන එක, අපේ support system එක, අපේ ගතිගුණ, සහ තවත් බොහෝ දේ.

උදාහරණයක් විදියට, වැඩිවියට පත් වෙනකොට අපේ challenge එක තමයි, "Identity vs. Role Confusion"  අපේ අනන්‍යතාවය  මොකක්ද? අපි කවුද කියන අරගලය. අපිට 20 ගණන් වලදි අපේ අරගලය තියෙන්නේ තනිකම ද, ආදරය ද? අපිට ආදරය කරන්නේ කවුද කියල තේරුම් බේරුම් කරගන්න එක. 

ඔය විදියට පියවර 8 ගැන සරල විස්තරයක් පහල chart එකේ තියෙනවා. මීට අමතරව මේක ගැන වුනත් වෙනම ගැඹුරෙන් කියවන්න කියන එකයි මගේ නම් යෝජනාව. 



සංකල්ප #8

මේ model එකෙන් suggest කරන්නේ, කම්පනයකින් (trauma) පස්සේ කොහොමද ආයේ ගොඩ එන්නෙ වගේ දෙයක්. පුද්ගල පරිවර්තනය! මේ theory එක 90s වලදි Richard Tedeschi සහ Lawrence Calhoun කියන දෙන්නා තමයි ගෙන්නේ. 

පරිවර්තනීය විභවය (Transformative Potential): PTG යෝජනා කරන්නේ කම්පනයක් අත්විඳීම පුද්ගලික පරිවර්තනය සඳහා උත්ප්‍රේරකයක් වෙන්න පුලුවන් කියලයි. එය නැවත යථා තත්ත්වයට පත්වීම විතරක් නෙමෙයි මානසිකව නව මට්ටම් වලට යන්නේ කොහොමද වගේ ක්‍රමයක් තමයි යෝජනා කරන්නේ. මේ දෙන්නා මෙහෙම පරිවර්තනය වෙන්න පුලුවන් වසම් (domains) 5ක් අඳුරගෙන තියෙනවා. පහල තියෙනවා සාරංශයක්. වැඩි දුර කියවලා බලන්න ඒ වුනාට.


Metamorphosis in Myself

සීත කාලය අවසන් කරලා ගස් දළු දානවා වගේ, දලඹුවා සමනලයෙක් වෙනවා වගේ, රට රාජධානි කාලයත් එක්ක පරිහානියටත්, දියුණුවටත් පත් වෙනවා වගේ, ෆීනික්ස් කුරුල්ලා අළු වලින් ආයේ ඉපදෙනවා වගේ, මේ ස්වභාවදහම පුරාම තියෙන සංකල්පය , මිනිස්සු විදියට අපිට කොහොමද බලපාන්නෙ කියන එක මට ස්වභාවිකවම ආව ප්‍රශ්නයක්!

මට දැන් 30ක් සම්පුර්ණ වෙන්න එනවා. අන්තිම අවුරුදු කීපය තුලදි මගේ ජිවිතයේත් සැහෙන්න වෙනස්කම් සිද්ධ වුනා. පොඩ්ඩකට නැවතිලා, පිටිපස්ස හැරිලා බලද්දි ජිවිතේ හැම කාලෙදිම මොකක් හරි වෙනස් වෙලා. සමහර වෙලාවල් වල වෙනස් නොවුනේ මොකක්ද කියලා හිතාගන්න බැරි විදියටත් ජිවිතේ වෙනස් වෙලා. මම විතරක්, මගේ සිතුවිලි ලෝකය විතරක් පරණ විදියට තිබුන වෙලාවල් වල, තාත්විකයි කියන ලෝකය, සම්මුති ලෝකය, එහෙමත් නැත්නම් යතාර්තය කියන අටමගලේ වෙනස් වෙලා. ලෝක 2 අතරේ වෙනම සටනක්. 

එලියේ ලෝකය කියනවා "නෑ අපි කියන දේ තමයි ඇත්ත", 
ඇතුලේ ලෝකය කියනවා "නෑ නෑ මම තමයි හරි" කියලා.

මේ ලෝක යුද්ධය අවසානයේ මට ලැබුනු හොඳම ප්‍රතිපලය තමයි. දර්ශනය! මගේම කියල දර්ශනයක් ගොඩ නඟාගන්න පුලුවන් වුන එක. ඒ කියන්නේ හරියට compass එකක්, මාලිමාවක් වගේ item එකක් හැබැයි කැලේ යන්න නෙමෙයි. ජිවිතේට!

අපිත් ස්වභාවදහමට අනුගත වෙන්න ඕනේ. ජිවිතයේ වෙනස් වෙන්න ඕනේ.  වැටුනු තැන් වලින් නැගිටින්න ඕනේ. ඔලුව නවන්න ඕනේ තැන් වලදි නවන්න ඕනේ. අභියෝග වලදි කොන්ද කෙලින් තියාගෙන එවාට මුහුණ දෙන්න ඕනේ. ජිවිතයේ මොන දේ කොහොම වුනත් හීනා වෙලා සතුටින් ජීවත් වෙන්න ඕනේ. 

අතිතය සිහිනයක් පමණයි සෑබෑ සුවදක් නෑ

තැනූ මන්දිර බිදී වැටුනත් නෙතේ කදුලක් නෑ 

සිනහා වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ

මේ ඔක්කොම සංකල්ප වලින් මොකක්ද මගේ පණිවිඩය? 

වෙනස් වීම! 

අප වටා ඇති සියලු දේ නිරන්තරයෙන්ම වෙනස් වීම් වලට භාජනය වෙනවා.  බුදුන් වුනත් කිව්වේ "සියලු දේ අනිත්‍යයි" කියල මේකට. මම හිතන්නේ මගෙ පණිවිඩය "වෙනස් වෙන්න බය වෙන්න එපා" කියන එක. ඝර්ෂණය අවම කොට වෙනස් වන්න කියන එක. මොකක්ද මේ ඝර්ශණය? වෙනස් වෙන්න අපේ තියෙන මානසික ගැටුම්, අපහසුතාවය, anxiety, පරණ මතක, පුරුදු වලට තියෙන ඇලීම, Depression, උදාසීනකම? 

මම හිතන්නේ මුලින්,

"මම වෙනස් වෙන්න ඕනේ" කියන අවශ්‍යතාවය අපි තේරුම් ගන්න ඕනේ. වෙනස්වීමෙන් "දුක" නැති වෙන බව පේන්න ගන්න ඕනේ. 

පස්සේ අපිට පුලුවන් 

"වෙනස් වෙන්නේ කොහොමද?" කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න. 

උඹ මොකද හිතන්නේ?



No comments:

ගුරු පරිච්චේදය

ගුරුවරුන් අපගේ ජිවිතයේ ලොකු role එකක් කරනා පිරිසක් ලෙස මා තුල පෞද්ගලික මතයක් පවතී. එයට ඔබ එකඟ විය හෝ නොවිය හැකිය. නමුත් මා ජිවිතයේ පසුපස හැර...