වියලි කාලය අවසන් කරමින්, පරිසරය නිතරම පාහේ අලු පැහැති අඳුරක ගලවමින් වැහි කාලය ආරම්භ වී තිබිණි. එක දිගටම වැස්ස නොතිබුනත්, අඳුර නිතරම පාහේ පැවතිනි. ඒ වනාහි මනුස්ස සිත් වල පමණක් නොව, සතා සිවුපාවා ගේ ද හැඟීම් ජනිත කරවන කාලයකි. වැස්සෙන් බේරීමට පැමිණ සිටි මයින ජෝඩුවක් බැල්කනියේ එලිය පැත්තට වන්නට පිහිටා තිබු වායු සමීකරණ යන්ත්‍රය උඩ කිචි බිචි ගාමින්, උණුහුමට තුරුළු වෙමින් ද සිටියේ මනුස්ස සිත් සොයනා උණුසුම ද, ඒ දැනෙන හැඟීම් ද උන්ටත් ඒ අයුරෙන්ම දැනෙනා බව කියමිනි.
මිට මාස කිහිපයකට පෙර ගෙනා වූ සාරවත් වූ පිච්ච මල් පැළය, බැල්කනියේ වේලෙමින් ද, ග්‍රීස්මෙ නිසා ස්ව පත්‍ර හලමින් ද, දුක්බර කාලයක අවසානය ගත කරමින් සිටියාය. නිතර එය පසු කොට යන එන්නවුන් බොහෝ වූ ද, වතුර ස්වල්පයක් ලැබුනේ එහෙමත් එකෙකුගෙන් පමණි. බොහෝ පිරිස් සංවේදිත්වයෙන් තොර වූ, වියළි සිත් සතන් පැවැතු අය වුහ. කිහිප දෙනෙක්, "අනේ! වතුර ටිකක් නැතුව මේ පැළේ විදින දුකක්!" යැයි ස්ව සිතෙන් සිතනන්ට තරම් සංවේදී වුහ. තවකෙකු වතුර ගෙන එන බවට සිතින් පොරොන්දු වුහ. කිනම් හේතුවක් මත හෝ වතුර බිඳක් සමග නැවත පැමිණි අය දුලභ වුහ. නමුත් ඔවුන් බහුතරයක් පිච්ච පැළය වෙනුවෙන් සංවේදී සිත් දැරුවෝ වුහ. ක්‍රියාවකින් තොර වූ, සංවේදී සිතකින් පමණක් ඵලක් වේ ද යයි ප්‍රශ්නාර්ථය පිච්ච මල පමණක් ඇසුවාය. පිච්ච පැළය එය කෙතරම් නිර්භයව, ශබ්ද නගා ඇසුවේ ද යත් ඉද හිට පැළය පසු කොට යන අයෙක් ගේ සිත් චංචල වන්නට ගන්නාහුය. එතෙකින්ව වතුර දෝතක් පැළයට ලැබෙන්නාය.
වියළි කාලය අවසන් වන තෙක්ම කෙසේ හෝ ස්වයං ශක්තිමත් වී, දරා සිටි පිච්ච මල් පැළය බොහෝ සේ කයින් දුර්වල වී තිබුණි. නමුත් කිසියම් භෞතික ස්වරුපයක්, පැළයට ශක්තිමත් ආධ්‍යාත්මයක් ඇතැයි ප්‍රකාශ කලාය. බැල්කනියෙන් එපිට අහස දෙස කෙලින්ම බැලුම් හෙලමින්, නිරාවරණය වී සිටි ශක්තිමත් ගස් දෙස බලමින් වියළි කාලය හේ ශක්තිමත් ව ගත කරන්නට ඇත. එක දු පත්‍රයක් වත් කඳේ තොර වූ කාල වලදී, බොහෝ මිනිසුන් සිතුවේ පිච්ච පැළය අවසන් සුසුම් හෙලා ඇති බවය. නමුත් ඇතැමෙක් සංවේදී වී, වතුර මදක් හැකි ලෙස වත් කරන්නාහ.
එපිටෙන් පවතින ගස් තරම්, තමා දැඩි හිරු රශ්මියට, කර්කෂ ස්වභාවයට මුහුණ පෑමට නොවනා බැවින් ඇතැම් විට පැළය සිත සනසා ගන්නට ඇත. නමුත් දැන් වියළි කාලය අවසන් වී වැසි වැටෙමින් පැවතිනි. එපිටෙන් වූ ගස් දැන් සිතැඟි පරිදි, වැසි දිය ස්නානයේ පසු විය. උන් උන් සුළඟ සමග, සිය දහසක් පත් සලමින්, ගී ගයා නටන්නාහ. පිච්ච පැළය පමණක් තනිව ඒ දෙස සුසුම් හෙළමින් සිටින්නීය. අභ්‍යන්තරයෙන් ජනිත කරගත් ස්ව ශක්තිය තව දුරටත් පැළය ට දැනෙන්නට නොවීය.
"මටත් වතුර ටිකක් තිබුනා නම්! අනේ!"
"කවදාහරි මටත් මේ වගේ සතුටෙන් වැස්සේ තෙමෙන්න පුළුවන් නම්?"
"සිංදු කියලා මේ අය එක්ක නටන්න පුළුවන් නම්?"
තවමත් ලපටි පැළය, එපිටෙන් පිහිටි ගස් දෙස බලා දුර්වල, බලාපොරොත්තු විරහිත සිතුම් ගොඩ නගන්නට විය. ඒ සිතුම් ශක්තිමත් ආධ්‍යාත්මය තුල වල් මෙන් දළු ලන්නට විය. ඒ මැද අතරමං වන්නට විය. ඒවා මෙතෙක් පිච්ච පැළය ජිවත් කරවූ, ශක්තිමත් ආධ්‍යාත්මයේ සාරය උරා බොමින් වඩා වේගයෙන් වැඩෙමින් තිබිණි. පිච්ච පැළයේ පත්‍ර එකිනෙක ක්‍රමයෙන් කඩා වැටෙන්නට විය. තද කොළ පැහැ ව පැවති පැළය ක්‍රමයෙන් දුඹුරු පැහැ ගන්නට විය.
වියළි ගොස් තිබු මනුස්ස ආත්මයක් ද මේ වැස්සෙන් සිසිල් වීමට ගෙන තිබුනේය. දුඹුරු පැහැ ආත්මය තුල දයාවේ දළු වැඩෙමින් තිබිණ. දෛවයේ ලියා තිබු පරිදිම මනුස්ස ආත්මය, පිච්ච පැළය පසු කොට ගමනක් යන්නට යෙදුණේය. දුවිලි වලින්, මකුණු දැල් වලින් ගහණ, හුස්මක් වත් ගන්නට ඉඩක් නැති, කර්කෂ ආත්මය දැන් වැහි දියෙන් සේදී පිරිසිඳුය. සිසිල්ය. හුස්ම ගනිමින් සිටියේය. සංවේදීය. සිතුම්, ක්‍රියා වලට නැංවීමට තරම් ශක්තිමත් වී තිබිණි.
"උඹ වියළි කාලය පුරාවටම ශක්තිමත්ව ට හිටියා. දැන් උඹත් ජිවත් වෙන්න ගන්න ට ඕනි. ආත්මය සුවපත් කරගන්නට ඕනි. දයාව, කරුණාව, ආදරය, උඹේ ඔය කොළ වලට, නටු වලට පතුරවා ගන්න ඕනේ. උඹටම ආදරය කරන්නට ගන්න ඕනි."
ඔහු පිච්ච මල් පැළය දෝතින් ගෙන ගොස් මහා වැස්සේ තෙමෙන්නට තැබිය. වතුර බිංදුව, බිංදුව ඇගේ පත්‍ර මත මෙන්ම ඇය වසා සිටි ඒ කර්කශ පොළවේ ද පතිත වන්නට විය. රස්නෙට බැදුණු තෙල් තාච්චියක් වතුර ට, නිමෙන්නට දැමු විගස නික්මෙන්නා වූ "ස්ස්ස්" ශබ්දය මෙන් නෑසුන ද, ඇයගේ ආත්මය ද සුවපත් වන්නට ඇත. වියළි බව දිය වී යන්නට ඇත. සැනසුම් සුසුම් හෙලන්නට ඇත. ඔහු සිතුවේය.
දුඹුරු පැහැ පැළය, ලා කොළ පැහැ ගැන්විය. කර්කෂ වී තිබු ආත්මය සිසිල්විය. රැයක් පුරා පිච්ච මල් පැළය තම සිතැඟි පරිදි ස්නානය කලාය. පිරිසුදු වුනාය. වැස්ස සමග නර්තනයක යෙදුනාය. පෙමින් බැඳුණාය. සංවාස කළාය. ආදරය තම මුල් දිගේ උරාගෙන, කඳ දිගේ, නටු වලටත්, අනතුරුව පත්‍ර කරාද පැතිරවිය. දිගු නමුත් රසවත් වූ රාත්‍රිය අවසන් කොට, පසු දා හිරු නැවත නැගී සිටියේය. පිච්ච පැළය ශක්තිමත් ව සිටිනු දැක හිරු ද සතුටු විය.
පසු දා ඔහු යලි පැමිණියේ, පිච්ච මල් පැළයේ තතු විමසා බැලීමට ය. එය කිරි පැහැ මල් පොහොට්ටුවක් බිහි කොට සිටියාය.
"ඉදිරියටත් නියං කාල පැමිණෙනු ඇත. වර්ෂාව ක්ෂය වනු ඇත. වතුර අල්ප වනු ඇත. ජීවිතය ගැන බලාපොරොත්තු ද ක්ෂය වනු ඇත. නමුත් නුඹට නුඹේ ආධ්‍යාත්මික ශක්තිය පමණක් ඉතුරු වෙනු ඇත. දරාගෙන ම හිටින්! මම උඹව මගේ ආත්මය කොට රැකගන්නෙමි." ඔහු ඔහුටම පොරොන්දු විය.